Recent comments

අලුත්ම ලිපි 🡲

දේවතා එළි දැකලා තියෙනවාද?

අපට තේරුම්ගත නොහැකි, විස්තර කළ නොහැකි සියලු දේ කිසියම් නොපෙනෙන බලවේගයකට භාර කර ඇඟබේරාගැනීම අතීතයේ සිටම සිදුවූවකි. අද වනතුරුත් ලෝකයේ බොහෝ දේවල් සඳහා ආරම්භයක්, හේතුවක් සොයාගත නොහැකිවූ තැන, නොපෙනෙන බලවේගයකට, සර්ව බලධාරී හෝ වෙනත් ආකාරයේ දෙවියෙකුට, භූතයෙකුට භාර කර හිත නිදහස් කරගැනීම අපේ සිරිතයි. එසේම අද්භූත, විශ්මයජනක, කුතුහලය දනවනදේ හඹායාමට ඇති රුචියද සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයකි. ඔබත් මමත් මේ තේමාව දුටුපමණින් ලිපිය කියැවීමට උනන්දුවන්නේ එබැවිනි. ආගමික ස්ථාන ආශ්‍රිතව ලබාගන්නා ඡායාරූප වල දේවතා එළි සටහන්වීම මෑත කාලීනව කාගේත් අවධානයට යොමුවන්නේද මේ කුතුහලය නිසාම විය හැකිය. 



පන්සල්, පල්ලි, කෝවිල් සහ වෙනත් ආගමික ස්ථාන සහ ආගමික උත්සව වලදී ලබාගත් ඡායාරූප මත පියවි ඇසින් නොදුටු කිසියම් ගෝලාකාර එළි විශේෂයක් තිබෙන බවත්, එම එළි පියවි ඇසට නොපෙනුණු පමණින් හා ඡායාරූපය සංස්කරණය නොකළ බව ප්‍රත්‍යක්ෂ වූ පමණින්ම ඒ ඇත්තේ දේවතා එළි යැයි නිගමනයකට එළැඹීමද දක්නට ලැබේ. එසේම ඇතැම් ස්වාමීන් වහන්සේලාද දැනුවත්ව හෝ නොදැනුවත්ව ප්‍රසිද්ධ රූපවාහිනී, ඩිජිටල් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මෙවැනි ඡායාරූප පෙන්වමින් තම ආගමික ස්ථානයට දෙවියන් වැඩසිටි බවට ප්‍රකාශ කරමින් තවදුරටත් එම එළි පිළිබඳ බෞද්ධයා තුළ විශ්වාසයක් ඇතිකරවීමට උත්සහා දරයි. ඔබට පෙනෙන්නේ ඔබ දකින්නට කැමති දේය! එහෙත් එය සත්‍යයමද

දළදා මාලිගාවේදී...
කතෝලික පල්ලියකදී...
හින්දු කෝවිලකදී
ඉස්ලාම් පල්ලියකදී...

විවිධ පුද්ගලයින් තම පුවත් පත්, ෆේස්බුක් පිටු යනාදිය ප්‍රසිද්ධ කරගැනීමට ජනතාවගේ නොදැනුවත්කම භාවිතා කරන බැවින්ද, විශේෂයෙන්ම ප්‍රඥාවන්තයින් විය යුත්තන් ක්‍රමයෙන් මිථ්‍යා දෘෂ්ටිකයින් වන්නට පටන් ගෙන ඇති බැවින්ද, මේ පිළිබඳව සටහනක් තැබීම වටී.

මේ මොනවාද? දෙවියන්ද? දේවතා එළිද? භූතාත්මද? සූත්‍ර දේශනාවල ආලෝකය විහිදුවමින් බුදුරජාණන් වහන්සේ හමුවට වඩින දෙවිවරුන්, අග්ගඥ්ඥ සූත්‍රයේ ශරීරයෙන් ආලෝකය විහිදුවන දෙවිවරුන් සමග මේ එළි වල සම්බන්ධතාවයක් තිබේද? නැතහොත් මේ සම්බන්ධයෙන් වෙනමම යම් පැහැදිලි කිරීමක් තිබේදැයි සොයාබලමු!.

(මෙම ලිපියේ අවසානයේදී මගේ නිගමනය කුමක් වුවත්, ඔබේ විශ්වාසයට එය බාධාවක් කරනොගන්න. කරුණු සොයාබැලීමකින් තොරව අද්භූතදේ පසුපසම හඹා නොයා සත්‍යය පමණක් වටහාගන්න).


මේවා දේවතා එළි නොවේ!!!

එසේනම් මේ මොනවාද?

මේවා පෙනෙන්නේ ආගමික ස්ථාන ආශ්‍රිතව පමණක්ද?

මේ පහතින් සඳහන් ඡායාරූපයද වෙබ් අඩවියකින් ලබාගත්තක් වන අතර එය දේවතා එළි පිළිබඳ පුවතක් නම් නොවේ! එහෙත් එහිද එළි තිබේ. කලින් රූප වලදී දුටු එළි ගැන විශේෂ අවධානයකින් කතා කිරීමටත් මේ ගැන කතා නොකිරීමටත් හේතුව කුමක්ද? ඔබම සිතන්න.



භූතාත්ම ඡායාරූපගකරන අධිතාක්ෂණික කැමරා ගැන අප අසා ඇත්තෙමු. පියවි ඇසින් නොදුටු, ඡායාරූපයේ පමණක් පෙනුණු, කිසිදු සංස්කරණයකින් ඇතිකළාක් නොවන මේ එළි මොනවාද?

ඉංග්‍රීසි භාෂාවෙන්  orb  ලෙස හැඳින්වෙන මෙම ගෝලාකාර එළි, නූතනයේ භාවිතා වන සුසංහිත ඩිජිටල් කැමරා වල ෆ්ලෑෂරය සහිතව ගන්නා ඡායාරූප මත අනපේක්ෂිත ආකාරයෙන් සටහන් වන අතර,  backscatter, orb backscatter, near-camera reflection යන නම් වලින්ද ගූගල් හරහා සෙවුමක් යෙදීමෙන් මේ පිළිබඳ තොරතුරු සොයාගැනීමට හැකිවනු ඇති.
 


කැමරාව අසළින්ම දීප්තිමත් ආලෝකයක් ඇති අවස්ථාවකදී, රාත්‍රී කාලයේදී හෝ ජලය යටදී අඩු ආලෝක තත්ත්වයක් යටතේ කැමරාවේ ෆ්ලෑෂරය ක්‍රියාත්මක කර ඡායාරූප ගන්නා අවස්ථාවකදී මේවා ඇතිවේ.

ෆ්ලෑෂරයකින් කෙරෙන්නේ කැමරාව ඉදිරියට ක්ෂණීකව ආලෝක කදම්බයක් මුදාහැර, එහි ආලෝකයෙන් පරාවර්තනය වන වස්තූන් කැමරා කාචය හරහා ඡායාරූපයක් වෙත ලබාගැනීමයැයි කිව හැකිය. ඉහතින් සඳහන් කළ පරිදිම, කැමරාවෙහිම සවිකොට ඇති ෆ්ලෑෂරය සහ කැමරා කාචය අතර ඉතා අඩු දුරක් ඇති, වර්තමානයේ භාවිතා වන සුසංහිත ඩිජිටල් කැමරාවලදී මෙම තත්ත්වය බහුලව නිරීක්ෂණය කළ හැක. මෙම අඩු දුර පරතරය නිසා ආලෝකය කැමරා කාචය මතට පරාවර්තනය වීමේ කෝණය අඩු වෙන අතර, කෙළින්ම කැමරා කාචය ඉදිරියෙන් ඇති දූවිලි හෝ වෙනත් කුඩා අංශු දීප්තිමත් එළි ලෙස කැමරා කාචයට පරාවර්තනය වේ.
 



මෙම වෘත්තාකාර එළි බොහෝවිට දූවිලි, පිණි, වැහි බිංදු හෝ කැමරා කාචය මත රැඳී ඇති යම්දෙයක් හේතුවෙන්ද ඇතිවිය හැකිය. Orbs ඇතිවන්නේ සුදු පැහැති හෝ මඳක් විනිවිද පෙනෙන ආකාරයෙනි. ඇතැම්විට වර්ණාවලීන් ලෙස, දම්පැහැති දාර සහිත ආලෝකයක් ලෙස හෝ වෙනත් වර්ණවත් හැඩතල ලෙසද දිස්විය හැක. වැහිබිඳු හරහා ෆ්ලෑෂරය ක්‍රියාත්මක වන අවස්ථාවකදී මේවා දේදුනු වර්ණයන්ගෙන් යුක්තව ඡායාරූපයේ සටහන් විය හැකියි.


ජලය යටදී කැමරාව ආසන්නයෙන් ගමන් කරන අංශු, ජීවීන්, වැලි සහ කිමිදුම්කරුවාට නොපෙනෙන වෙනත් දේ වෙත ෆ්ලෑෂරයේ ආලෝකය යොමුවීමෙන් (A) Orbs ඇතිවේ. කැමරාවට දුරින් පිහිටි ඍජුවම එල්ල නොවන ෆ්ලෑෂරයක් (B) මගින් මෙම තත්ත්වය මගහැරී යයි.

මෑතකාලීනව සුසංහිත ඩිජිටල් කැමරා විශාල වශයෙන් සාමාන්‍ය ජනයා අතර භාවිතායට පැමිණ තිබේ. ඇතැම්විට ඔබේ අත ඇති ස්මාට් ෆෝන් එකෙහිද කුඩා ෆ්ලෑෂරයක් සහිත මෙගාපික්සල් 1.3 සිට ඉහළට ඡායාරූප ගැනීමේ හැකියාව සහිත කැමරා කාචයක් තිබේ.

(වරකට අංශක 120ක් පමණ දකින මිනිස් ඇසක දෘෂ්ටි තීව්‍රතාවය මෙගාපික්සල 576ක් පමණ වන බවට මූලාශ්‍ර ඇත. දකින සැබෑ ප්‍රදේශය අංශක 120ට වැඩි නිසා මෙහි යම් වෙනසක් වීමටද ඉඩ ඇත. එසේම Sybershot පහසුකම සහිත කැමරාවකට වඩා මිනිස් ඇස වේගවත්ය. අඳුරේ කැරකෙන විදුලි පංකාවක් දෙස නෙත් නොසලා බලා සිට ඒ වෙත සයිබර් ෂොට් කැමරාවක් එල්ල කර කෙතරම් වේගයෙන් කැරකෙන විදුලි පංකාවක වුවද තටු තුන වෙන් වෙන්ව ඔබේ පියවි ඇසින්ම ඔබට දැකගත හැකි බව ඔබ නොදන්නවා විය හැකිය).

අපි බොහෝවිට රාත්‍රී කාලයේ නිවසින් පිටත ඡායාරූපගන්නේ එක්කෝ පන්සලකදීය. නැතහොත් නිවසේ පැවැත්වෙන බණක් හෝ පිරිත් පිංකමකදීය. වෙනත් සාමාන්‍ය දිනයක ගන්නා ඡායාරූපයකට නොදෙන අවධානයකින් අප මෙවැනි ඡායාරූප දෙස බලන්නෙමු. ඒ අප අසා ඇති, මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරෙන දේවතා එළියක් අපිටත් ඡායාරූපගතකරගැනීමට හැකිවුණාදෝ යන අදහසින් වියහැකිය. ඉතින්, ඔබ එවැනි ඡායාරූපයක දකින සියලු විස්තර කළ නොහැකි වස්තූන් දේවතා එළි යැයි නිරායාසයෙන්ම නිගමනය කරනවාට සැක නැත! අග්ගඥ්ඥ සූත්‍රයේ හෝ වෙනත් සූත්‍රදේශනාවක එන දෙවිවරුන්ගේ ස්වරූපයන් ඇතුළත් කරුණද ඔබ ඔබේ ඡායාරූපයේ ඇති Orbs දෙවිවරුන් බවට පරිවර්තනය කරගැනීම සඳහා කැඳවාගනු ඇති. නමුත් ෆ්ලෑෂරයේ ආලෝකය දූවිලි හෝ පිණි මත වැදී කැමරා කාචය මතට පරාවර්තනය වීම කෙරෙහි අග්ගඥ්ඥ සූත්‍රයේ හෝ වෙනත් සූත්‍ර දේශනාවක සම්බන්ධයක් නැත!. එය වෙනම සංසිද්ධියකි.

එක් කතාවක් මගේ මතකයේ හැටියට පවසා ලිපිය අවසන් කරන්නම්. (මතකයේ වරදක් ඇතොත් නිවැරදි කරන්න, අර්ථය පමණක් සිතට ගන්න).

දිනක් බුදුරජාණන් වහන්සේ තවත් තෙරනමක් සමග ගඟකින් එතෙරවීම සඳහා තොටුපොළක් අසළට වී සිටියහ. තොටියා ඒ වනවිට එහා ඉවුරට මගීන් ගෙනගොස් ඇරළවා යළි එමින් සිටියේය. තරමක් පළලින් වැඩි ගංගාවක් වූ බැවින් තොටියා මෙගොඩට ඒමට බොහෝ වේලාවක් ගතවිය. ඒ අතර එහි පැමිණි අන්‍ය තීර්ථකයෙකු ඔහු සතු ඍද්ධී බලයෙන් ක්ෂණිකව එහා ඉවුරට ගියේය. බුදු රජාණන් වහන්සේ සහ අනෙක් තෙර නම තවමත් මෙහා ඉවුරේ තොටියා ඔරුව ගෙනෙනතුරු බලා සිටී. ස්වාමීනි, අපිත් ඍද්ධී බලයෙන් එහා ඉවුරට යමුද? තෙර නම විමසූවත් බුදුරජාණන් වහන්සේගෙන් පිළිතුරක් නැත. ඔරුව පැමිණි පසු එහි නැගී එතෙරට යන අතර බුදුරජාණන් වහන්සේ තොටියාගෙන් මගියෙක් එගොඩ කිරීමට ගන්නා ගාස්තුව කොපමණදැයි විමසූහ. රුපියල් දෙකයි (රුපියල්ම කියලා හිතමුකො) තොටියා පිළිතුරු දුන්නේය. බුදු රජාණන් වහන්සේ තෙර නම අමතා අර තීර්ථකයාගේ ඍද්ධී ප්‍රාතිහාර්යයේ වටිනාකම රුපියල් දෙකයි  යැයි පැවසූහ.

විශේෂයෙන්ම බුදුදහම සැලකුවහොත් එය ප්‍රාතිහාර්යයන්, නොපෙනෙන බලවේග හඹායන දහමක් නොවේ. එබැවින් ඔබට විස්තර කළ නොහැකිදේ එකවරම නොපෙනෙන බලවේගයන්ට පැවරීමෙන් වැළකී නුවණින් විමසා බලන්න. අන්තර්ජාලයෙන් සොයාබලන්න.

මෙවැනි කැමරා කාචය සහ ෆ්ලෑෂරය එකිනෙක ගැටීමෙන් ඇතිවන එළි දෙවිවරුන්යැයි පිළිගෙන එම එළි සහිත ඡායාරූප මුද්‍රණය කිරීමටත්, තැන් තැන් වල විකුණන්නටත්, නිවසට හෝ ආගමික ස්ථානයක ගසාගෙන වැඳුම් පිදුම් කිරීමටත් පටන්ගතහොත් ඉන් හෑල්ලුවන්නේද බුද්ධිමතුන් යැයි කියන අපිමය. 

පෘථිවි තලය තුළ අප ඉහතින් කතා කළ ඇස් රවටන තාක්ෂණික ප්‍රයෝග මෙන්ම පහත සඳහන් ආකාරයේ ස්වභාව ධර්මය විසින්ම සිදුකරන දෘෂ්ටි ප්‍රයෝගද ඇති බව සිහි තබාගන්න.
 


https://www.facebook.com/sharer/sharer.php?u=http://kinith.blogspot.com/2014/04/orbs.html

1 comment:

  1. LOG is a worldwide company dedicated to serving to plastic processors compete extra effectively in a global market. Whether your plastics molding operation is native, or half way all over the world, we now have the gear, engineering expertise, and assist to fulfill your injection molding equipment necessities. Injection molding machines range in price depending upon type, where worktop/desktop machines value anyplace Direct CNC from $2,000-$20,000, and enormous industrial models vary from $50,000 to over $200,000. Also, these prices do not embody the facility upgrades, expert employee prices, maintenance fees, and monitoring gear needed for such a system.

    ReplyDelete