Recent comments

අලුත්ම ලිපි 🡲

"වැට" | කවි කිනිත්ත

පසුබිම -


අප කවුරුත් කියවා - අසා ඇති අග්ගඤ්ඤ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මතු කරන ප්‍රධානතම කාරණය ලෝකය ආරම්භවූ ආකාරය නම් නොවේ! කුල භේදයේ නිස්සාරත්වයයි. රැකියාව මත පදනම්වූ කුල බෙදීම මිනිසුන්ගේ උස් පහත් බව මැනීමට යොදාගැනීම කෙතරම් මුග්ධ කාර්යයක්දැයි පහදා දීමයි.

එකල උසස් යැයි සම්මතව පැවතුණු බ්‍රාහ්මණ කුලයෙන් පැමිණ පහළ යැයි සම්මත මුඩු මහණ වංශයෙහි පැවිදිවූ වාසෙට්ඨ සහ භාරද්වාජ යන දෙදෙනාගෙන් උන් වහන්සේ විමසන්නේ ඔබ පහළ යැයි සම්මත මහණ කමට ආ පසු උසස් යැයි සම්මත බ්‍රාහ්මණ වංශිකයින්ගෙන් විරෝධය එල්ල නොවේද යන්නයි. ඒකාන්තයෙන්ම බ්‍රාහ්මණයින් ඔවුන් දෙදෙනාව හෙළා දකිතැයි පැවසූ විට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ

ඔසප් වෙන, ගැබ් ගන්නා, දරුවන් වදන, දරුවන්ට කිරි පොවන බැමිණියෝ පෙනෙන්නට සිටියදීම, බ්‍රාහ්මණයෝද යෝනි මාර්ගයෙන්ම ඉපැදී එසේ කියන්නේය!. කුල භේදය විවේචනය කරන මීටත් වඩා ප්‍රබල ප්‍රකාශයක් මා දැක නැත.

උපතින් මිනිසුන් උස් පහත් නොවන බවත් උසස් හෝ පහත් වන්නේ ක්‍රියාකලාපයෙන් පමණක් බව ගාථාවකද දැක්වේ. එහෙත් තවමත් මේ ආකල්ප අදටත් ශ්‍රී ලංකාවේ ජනතාව අතර දක්නට ලැබේ! පිටතින් එල්ලවන අභියෝග වලට එරෙහිව සටන් කරන අතරම, සිංහලයාද අතීතයේ කළ පාරම්පරික රැකියා අනුව විවිධ සමාජ මට්ටම් වලට අයත් වනසේ 14-15කට නොඅඩු කුල සංඛ්‍යාවකට තවමත් බෙදී වෙන්වී සිටිති.

කවිය -

යල් පැනගිය, පදනම් විරහිත කුලභේදයෙන් අසාධාරණයට ලක් වන කවුරුත් සංවේදීම අවස්ථාවන් වන්නේ ප්‍රේමය හා විවාහයයි. කවි කාරියේ (කීර්ති/ධම්මිකා), අශෝක මාලා (චන්ද්‍රලේඛා) වැනි ගීත සේම, ඇගෙ සිනහව තහනම්“ (චන්ද්‍රකුමාර) වැනි වර්තමානයේ එකම සමාජ තලයක ජීවත් වෙන එහෙත් කුල වෙනස හේතුවෙන් ප්‍රේමයට බලපෑම් එල්ල වන අවස්ථා  සම්බන්ධයෙන් ලියැවුණු ගී නිර්මාණ අතළොස්සක්ද අසන්නට ලැබේ.

ඇතැම් අය විවාහයේදී කුලය“ ඉතා තදින් සලකා බලන බව, අභිමානයක් ලෙස සලකන බව පුවත් පතක මංගල දැන්වීම් කීපයක් කියැවීමෙන් අවබෝධ කරගත හැකිය. 

ප්‍රේමය අන්ධ යැයි පවසන්නේ, සමාජයේ වෙනත් පුහු සම්මතයන් ඒ ඉදිරියේදී නොපෙනෙන නිසාය. එය අන්‍යොන්‍ය ගෞරවය, සමානාත්මතාවය මත පදනම්වූ හැඟීමක් නිසාය!. ඉහත කීවාක් වැනි අවස්ථාවකට මුහුණ දෙන දෙදෙනෙකුට ප්‍රතිරෝධයක් එල්ල වන්නේ පිටතින් නොව තම තමන්ගේ ඥාතී පිරවරෙන්මය! වසර දහස් ගණනක් තිස්සේ පැවත එන ඒ පුහු ප්‍රතිරෝධයට නොබියව අභියෝග කරන්නේත්, ඒ අභියෝගය ජයගන්නේත් මේ පිරිසෙනුත් අතළොස්සක් පමණි! 



මලක් දැක මා රිසින් නෙලනූ
ගඟක උඩුගං බලා ඇදුණී
පෙමට වැඩියෙන් සවිය තිබුණූ
දිරාගිය කටු වැටක රැඳුණී

එ වැට බැඳි උන් කොහෝ හිඳිනූ!
එලෙස බඳිනට කිම්ද කරුණූ?
නොදැන නොසොයා ලෙසින් වඳුරු
අනුව යති වැට රකිති දනනූ

අසව්! තොප කර තබා වැට, ගොස්
සුසානය තෙක් සුවෙන් නිදනූ
හරිනු ඉන් බැරිවනම් යනු -
කුල බලා ඉපැදී යෙහෙන් වෙසෙනු

මගෙත් මා නෙලු මලෙත් රුහිරෙන්
වැටෙන් පැන ගොස් කවක් ලියමි
ගුණෙන් මිස පරපුරෙන් හිත් මැන
පලක් නැති වග ලොවට කියමි

෴කිනිත් හෙට්ටිආරච්චි෴

FACEBOOK POST (ෆේස්බුක් පෝස්ට් එක නොපෙනේ නම් login වීමෙන් පසු මේ පිටුව refresh කරන්න)

No comments