Recent comments

අලුත්ම ලිපි 🡲

"ඈ" | කවි කිනිත්ත


ස්ත්‍රියක් සහ පුරුෂයෙක් අතර ගොඩනැගෙන දිගුකාලීන සමීප මිත්‍රත්වයක් පිළිබඳව බොහෝ දෙනා විශ්වාසය නොතබන්නේ, මේ දෙපාර්ශ්වය අතර ස්වභාවයෙන්ම පවතින ආකර්ෂණය නිසා විය  යුතුය. එවන් මිත්‍රකම් බොහෝවිට අවසානයේදී ප්‍රේමයකට පරිවර්තනය වන්නේය යන බවට වටපිටාවෙන් ලැබෙන නිමක් නැති සාක්ෂි නිසා විය යුතුය. එක් අතකට එය ඉතා සරල, සාමාන්‍ය, ස්වභාවික කාරණයකි. 

එහෙත්... තම කළ්‍යාණ මිතුරියට ප්‍රේමය ප්‍රකාශ කිරීමෙන් ඇය අමනාපවී මිත්‍රත්වය කෙළවර වේදැයි යන සැකයෙන්, ඇය විසින්ම ඉදිරියට පියවරක් තබනාතුරු ඉවසීමෙන් බලා සිටීම එතරම්ම පහසු නොවේ!

එය “ඈ“ ශබ්දය යෙදෙන තනි අකුරේ වචන දහයකින් පටන්ගන්නා පේළි දහසයක කවි පන්තියක් ගෙතීමට වඩා සංකීර්ණද වේ!! :)

ගෑ නොදුටු නොලද පැහැයක්
පෑ නොවිඳි නොහිමි රසයක්
ඈ තරම් සුවඳ කුසුමක්
නෑ සොයම් නොහැර ගොමුවක්

දෑ ඉවුරු පවා මනකල්
මෑ ඇදෙන රඟට සුකුමල්
ඈ තරම් සිහිල් ගඟුලැල්
නෑ සොයම් සිසැර වන විල්

බෑ උවම් කරනු සඳටත්
රෑ ගණන් නොඑන හිරුටත්
ඈ තරම් එළිය තරුවක්
නෑ සොයම් සරා ගගනත්

සෑ උසක් පෙමින් බැඳුණත්
ලෑ හිතක් තැවෙන තරමක්
ඈ හෙටත් ළඟින් සිටියත්
නෑ බහක් ලැබෙන ලකුණක්...

෴ කිනිත් හෙට්ටිආරච්චි ෴

FACEBOOK POST - (ෆේස්බුක් පෝස්ට් එක නොපෙනේ නම් Login වීමෙන් පසු නැවත මෙම පිටුව refresh කරන්න)

1 comment: